මාවනැල්ල ප්‍රාදේශීය සභාව - හැඳින්වීම

ප්‍රාදේශීය සභාව මෙතෙක් ආ මඟ පියසටහන්

මාවනැල්ල ප්‍රාදේශීය සභාව, 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනත යටතේ කොට්ඨාශ 08 කින් යුක්ත වූ මාවනැල්ල සුළු නගර සභාවද, කොට්ඨාශ 23 කින් යුක්ත වූ වාකිරිගල ගම් සභාව සහ කොට්ඨාශ 22 කින් යුක්ත වූ අළුත්නුවර ගම් සභාවද  සම්බන්ධ කරමින් 1988.01.01 දින සංස්ථාපනය කරන ලද අතර  ප්‍රාදේශීය සභා මුළු බල ප්‍රදේශය වර්ග කිලෝ මීටර් 114කි.

මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ග්‍රාම සේවා වසම් 71කින් සමන්විත මාවනැල්ල ප්‍රාදේශීය සභාව, 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ  අංක 171 හා 173 වගන්ති සහ 1988 ප්‍රාදේශිය සභා (මුල්‍ය හා පරිපාලන) රීති ප්‍රකාරව මෙම සභාවට පැවරී ඇති කාර්යයන් ඉටු කිරීම සඳහා,  පවත්නා සම්පත් කාර්යක්ෂමව හා සඵලමත්ව  යොදවමින් ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ මහජන සෞඛ්‍යපොදු උපයෝගීතා සේවාපොදු  මංමාවත්, සුභ සාධක සේවා ඇතුළු පහසුකම් ජනතාවගේ සුඛ විහරණය, පහසුව සහ සුබසාධනය සම්පාදනය හා ප්‍රවර්ධන කිරීම තුළින් තිරසාර සංවර්ධනයක් සහිත ‍සෞභාග්‍යමත් බල ප්‍රදේශයක් බිහිකිරීම වෙනුවෙන් විවිධ ක්ෂේත්‍රයන් තුළ විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරයි. 

දැක්ම

තිරසාර සංවර්ධනයක් තුලින් ‍සෞභාග්‍යමත් බල ප්‍රදේශයක් බිහිකිරීම 

මෙහෙවර

ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ වෙසෙන ප්‍රජාවගේ ජීවන තත්ත්වය දියුණු කරලීමේ පරමාර්ථයෙන් ඔවුන්ගේ ආර්ථික, බුද්ධි සංවර්ධනයට ඉවහල් වන මහජන සෞඛ්‍යය, පොදු මංමාවත්, පොදු උපයෝගිතා සේවාවන් හා සුඛ විහරණය, සුව පහසුව, සුභ සාධනය සහ සියලු පහසුකම් ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීම තුලින් මාවනැල්ලට නවෝදයක අරුණලු උදාකරලීම.

බල ප්‍රදේශය හැදින්වීම

සබරගමුව පළාත් සභාවේ කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල ආසනයේ පිහිටි මාවනැල්ල ප්‍රාදේශීය සභාව ගල්බඩ කෝරලය සහ කිණිගොඩ කෝරළයේ කොටසක් එක්ව නිර්මාණය වී ඇති අතර, එයට ගල්බඩ පත්තුව,තනිප්පේරු පත්තුව එගොඩපොත මැද පත්තුව,ගන්නෑපත්තුව මැද පත්තුව, සහ තුන් පළාත පත්තුව (නැගෙනහිර) හී කොටසක් ද ඇතුළත් වේ. 

උතුරට රඹුක්කන ආසනයද, දකුණට ගම්පළ සහ අරණායක ආසන වලින්ද නැගෙනහිරට යටිනුවර ආසනය හා බටහිර නැවතත් රඹුක්කන ආසනයටද, මායිම් වන මාවනැල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය ග්‍රාම නිළධාරී වසම් 71 කින් සමන්චිත වේ. මහජන නියෝජිතයින් 40 දෙදෙනෙකු තෝරා පත් කරගනු ලබන මාවනැල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ජනගහනය 130,000 ඉක්මවයි. දර්ශනීය මා ඔය පාලම, යටිමහන ප්‍රදේශයේ පිහිටි දැකුම්කළු බෝවැල්ල දිය ඇල්ල, උතුවන්කන්ද ප්‍රදේශයේ පිහිටි ඓතිහාසික සූර සරදියෙල් ගලද දෙස් විදෙස් සංචාරකයින්ගේ නෙත් සිත් පැහැර ගන්නා ස්ථානයන් අතරින් කිහිපයකි.

බහු වාර්ගික සහ බහු ආගමික ජනගහනයක් වෙසෙන මාවනැල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ පිහිටි බෙලිගම්මන රජමහා විහාරය, ටැම්පිට රජමහා විහාරය, දෙවනගල රජමහා විහාරය, සහිරා විද්‍යාලය පිහිටි මස්ජිදුල් හුදා ජුම්මා මුස්ලීම් දේවස්ථානය, හෙම්මාතගම මස්ජිදුල් හුදා ජුම්මා මුස්ලීම් දේවස්ථානය, කිරිංගදෙණියේ පිහිටි මස්ජිදුල් ජුම්මා මුස්ලීම් දේවස්ථානය සහ උතුවන්කන්ද පිහිටි කතෝලික දේවස්ථානය ද බහු ආගමික සහජීවනයේ දායාදයන් අතුරින් කිහිපයකි.