මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සෞඛ්‍ය අංශය

පරිසර හා සෞඛ්‍ය අංශය

මෙම අංශය මඟින් පහත සදහන් ව්‍යාපෘති හා කාර්යයන් ක්‍රියාත්මක කරනු ලබයි.

  • රෝග වැලැක්වීමේ සේවාව
  • රෝග සුව කිරීමේ සේවාව
  • මළ බැහැර කිරීමේ සේවාව
  • මාතෘ හා ළමා සායනය
  • ඝණ අපද්‍රව්‍ය කළමනාකරණය
  • පාරිසරික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සහ පරිසර බලපත්‍ර නිකුත් කිරීම
  • වෙනත් සෞඛ්‍ය සේවා (ආදාහනාගාර, සුසාන භූමි ඇතුළුව)
  • රෝග වැලැක්වීමේ සේවාව

ප්‍රචාරක කටයුතු මගින් සනීපාරක්ෂක කටයුතු පරිලෝචනය කිරීම බෝවන රෝග, වසංගත හා පරිසරයේ හට ගන්නා සනීපාරක්ෂාවට අහිතකර තත්වයන් නැති කිරීම හා සෞඛ්‍ය වර්ධනය ඇති කිරීම මෙම සේවාවට අයත් කාර්යයන් වේ.

  • ලෙඩ රෝග වැලැක්වීම සදහා නීති රීති ක්‍රියාක්මක කිරීම වෙළද ව්‍යාපාරික ස්ථාන ආදිය විධිමත් කිරීම හා විමධ්‍යගත පාලනය. 
  • ජලභීතිකා රෝග නාශක ව්‍යාපාර පවත්වාගෙන යාම.
  • විෂබීජ නාශක බෙහෙත් දිය කර ඉසීම.
  • මීයන් වද කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම.
  • එන්නත් කිරීම හා ප්‍රතිශක්තීකරණ  ව්‍යාපාරය පවත්වාගෙන යාම.
  • මහජන සෞඛ්‍ය, මාතෘ සහ ළමා සෞඛ්‍ය වර්ධනය කිරීම.
  • බෝවන හා බෝනොවන රෝග වැළැක්වීමේ සේවාවන්, මහජන දැනුවත් කිරීම්, එන්නත්කරණය ආදී වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
  • ආයුර්වේද රෝග සුව කිරීමේ සේවාව (ආයුර්වේද ජංගම සේවාවන් පැවැත්වීම).
  • රෝග සුවකිරීමේ සේවාව

නොමිලේ වෛද්‍ය ප්‍රතිකාර සැලැස්වීමෙන්ද ලෙඩ රෝග සුවකර ශාරීරික සෞඛ්‍ය ඇති කිරීමෙන්ද මහජන සෞඛ්‍යට පහසුකම් සැලසීමෙන් ද  මහජන සෞඛ්‍ය   වර්ධනය මෙම සේවාවට අයත් කාර්යයන් වේ. නිදහස් අයුර්වේද බෙහෙත් ශාලා පිහිටුවා පවත්වාගෙන යාම ද මෙම සේවාවේ විශේෂ ලක්ෂණ වේ.

  • ආහාර හා සනීපාරක්ෂාව

මෙම සේවාවේ ප්‍රධාන කටයුතු පහත දැක්වේ.

  • ආහාර හා ඖෂධ පනත ක්‍රියාත්මක කිරිම හා ආහාර පිළිබද සෞඛ්‍ය කටයුතු වලට අයත් හෝටල් තේ කඩ බත් කඩ බේකරි සහ අප්‍රසන්න හා අනතුරුදායක යටතේ වන අතුරු ව්‍යවස්ථා ක්‍රියාවේ යෙදවීම.
  • ගෝඝාතක ආඥා පනත ක්‍රියාත්මක කිරිම
  • මළ බැහැර කිරීමේ සේවාව

ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ වැසිකිළි නඩත්තු කිරීමත් ප්‍රදේශයේ ජනතාවගේ මළ බැහැර පද්ධති පවිත්‍ර කිරීමත් මෙමගින් සිදු කෙරේ.

  • මාතෘ හා ළමා සායනය

මෙම සේවයේ ප්‍රධාන කාර්යය නම් ගර්භනී මව්වරුන්ගේ හා ළදරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂා කිරීමයි. එයට අයත් ප්‍රධාන කාර්යයන් පහත දැක්වේ.

  • පූර්ව ප්‍රසූති හා පශ්චාත් ප්‍රසූති චිකිත්සාගාරයක් පැවැත්වීම.
  • සෞඛ්‍ය නිළධාරීන් මව්වරුන්ගේ නිවෙස් වලට ගොස් සෝදිසි කිරීම හා වෛද්‍ය උපදෙස් හා ආරක්ෂාව සලසා දීම.
  • නිවෙස් වලදී සිදුවන ප්‍රසූති සදහා පහසුකම් සහ ආධාර සැපයීම.
  • දිළිදු දරුවන්ට හා ගර්භනී මව්වරුන්ට ආහාර හා ඖෂධ සැපයීම.
  • බෝවන රෝග වැළැක්වීම සදහා ළදරුවන්ට ප්‍රතිශක්තීකරණය ලබා දීම.
  • පවුල් සංවිධාන චිකිත්සාගාර පැවැත්වීම.
  • වෙනත් සෞඛ්‍ය සේවා (ආදාහනාගාර හා සුසානභූමි ඇතුළුව)

නගරයේ සෞඛ්‍ය ආරක්ෂා වන පරිදි ප්‍රදේශයේ වැසියන්ගේ හා අනාථ මළ සිරුරු භූගත කිරීම හා ආදහන කටයුතු සදහා අවශ්‍ය පහසුකම් සපුරාලීම මෙම සේවාවේ අරමුණ වේ.

මෙම සභාව විසින් සේවාවක් වශයෙන් පවත්වාගෙන යනු ලබන ආදාහනාගාර සම්බන්ධයෙන් අය කරනු ලබන ගාස්තු මේ යටතේ ගැනේ.

ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ රු. 15,000.00

ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයෙන් පිටත රු. 18,000.00

 

  • ඝණ අපද්‍රව්‍ය කළමනාකරණය

නගරය පිරිසිදුව තබා ගැනීම සඳහා රැස් වන අපද්‍රව්‍ය බැහැර කිරීම අපද්‍රව්‍ය කළමනාකරණයේ ප්‍රධාන කාර්යය වේ. දෛනිකව එකතු කරන කසල දිරන, නොදිරන කසල (වීදුරු, පොලිතීන්, ප්ලාස්ටික්, යකඩ) ආදී වශයෙන් වෙන් කර බැහැර කරලීමේ කටයුතු සිදු කරයි.

මෙම සේවාවන්ගේ අරමුණු – 

  1. මාවනැල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල අපද්‍රව්‍ය කළමනාකරණ විධිමත් කිරීම තුලින් ප්‍රසන්න පුරවරයක් බවට පත්වීම.
  2. ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ ප්‍රජා සෞඛ්‍ය කටයුතු නංවාලීම.
  3. ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ ආහාර සෞඛ්‍ය කටයුතු නංවාලීම.
  4. ප්‍රාදේශීය සභා ප්‍රදේශය තුළ පාසල් සෞඛ්‍ය කටයුතු නංවාලීම.
  • පාරිසරික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සහ පරිසර බලපත්‍ර නිකුත් කිරීම

1988 අංක 56 හා 2000 අංක 53 දරණ පනත්වලින් සංශෝධිත 1980 අංක 47 දරණ ජාතික පාරිසරික පනතේ 26 වැනි වගන්තිය ප්‍රකාරව මාවනැල්ල ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය තුල පවත්වාගෙන යනු ලබන පහත සඳහන් ව්‍යාපාර සඳහා පරිසර ආරක්ෂණ බලපත්‍ර ලබාගත යුතුයි. 

පරිසර ආරක්ෂණ බලපත්‍ර ලබා ගත යුතු ක්‍රියාකාරකම්:-

  1. සියලුම වාහන ඉන්ධන පිරවුම්හල් (ද්‍රව පෙට්‍රෝලියම් හා ද්‍රවීකෘත පෙට්‍රෝලියම් වායු)
  2. සේවක සංඛ්‍යාව 10 ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් සේවයේ යෙදෙන ඉටිපන්දම් නිෂ්පාදන කර්මාන්ත
  3. සේවක සංඛ්‍යාව 10 ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් සහ 25 ට අඩු සේවක සංඛ්‍යාවක් සේවයේ යෙදෙන පොල්තෙල් සිඳින කර්මාන්ත
  4. සේවක සංඛ්‍යාව 10 ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් සහ 25 ට අඩු සේවක සංඛ්‍යාවක් සේවයේ යෙදෙන මධ්‍යසාර අඩංගු නොවන බීම වර්ග නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත
  5. වියළි ක්‍රියාවලි සහිත වී මෝල්
  6. මාසික නිෂ්පාදන ධාරිතාව කි.ග්‍රෑ.1000 කට අඩු වන ඇඹරුම්හල්
  7. දුම්කොළ වේලීමේ කර්මාන්ත
  8. ෂල්ෆර් දුම්ගැසීම සහිත එක් ක්‍රියාවලියකදී නිෂ්පාදන ධාරිතාව ග්‍රෑ.500 හෝ එයට වැඩි ධාරිතාවක් සහිත කුරුඳු දුම් ගැසීමේ කර්මාන්ත
  9. කෑමට ගන්නා ලුණු ඇහිරීමේ හා සැකසීමේ කර්මාන්ත
  10. ක්ෂණික තේ කර්මාන්ත ශාලා හැර අනෙකුත් තේ කර්මාන්ත ශාලා
  11. කොන්ක්‍රීට් පෙර සවි කර්මාන්ත
  12. යන්ත්‍රානුසාරයෙන් සිමෙන්ති බ්ලොක්ගල් නිෂ්පාදන කිරීමේ කර්මාන්ත
  13. දිනකට මෙට්‍රික් ටොන් 20ට අඩු නිෂ්පාදන ධාරිතාවක් සහිත හුණු පෝරණු
  14. ප්ලාස්ටර් ඔෆ් පැරිස් නිෂ්පාදන කිරීමේ කර්මාන්ත හෝ සේවකයින් 25ට අඩු සංඛ්‍යාවක් සේවයේ නියුක්ත පිඟන් මැටි භාණ්ඩ නිෂ්පාදන කිරීමේ කර්මාන්ත
  15. සියළු බෙලිකටු ඇඹරීමේ කර්මාන්ත
  16. උළු සහ ගඩොල් කර්මාන්ත
  17. එක් වරකට එක් බෝර වලක් බැගින් පුපුරවමින් මසකට ඝන මීටර් 600 නිෂ්පාදන ධාරිතාවකට අඩු මිනිස් ශ්‍රමය හා පුපුරන ද්‍රව්‍ය භාවිතයෙන් සිදු කරනු ලබන කැණීම්
  18. දිනකට ඝන මීටර් 50ට අඩු දැව ඉරුම් ධාරිතාවක් ඇති ලී මෝල් හෝ බෝරෝන් පිරියම් ක්‍රමය භාවිතයෙන් දැව පිරියම් කිරීමේ කර්මාන්ත හෝ දැව පදම් කිරීමේ කර්මාන්ත
  19. බහු කාර්ය යන්ත්‍ර භාවිතා කරන වඩු කර්මාන්ත හෝ සේවකයින් 05ට වැඩි 25ට අඩු ගණනක් සේවයේ යෙදෙන දැව ආශ්‍රිත කර්මාන්ත
  20. නේවාසික කාමර 05ක් හෝ ඊට වැඩි සහ 20ට අඩු හෝටල් ආගන්තුක නිවාස හෝ තානායම්
  21. වාහනවල වායු සමීකරණ යන්ත්‍ර අලුත්වැඩියා කිරීමේනඩත්තු කිරීමේ හා පෙරසවි කිරීමේ කටයුතු සිදු කරන ස්ථාන
  22. ශීතකරණ හා වායු සමීකරණ යන්ත්‍ර අලුත්වැඩියා කිරීමේනඩත්තු කිරීමේ හා සවි කිරීමේ කටයුතු සිදු කරන ස්ථාන
  23. වාහන සේවා කටයුතු සිදු නොකරන කන්ටේනර් බහාලූ පර්යන්ත
  24. සේවක සංඛ්‍යාව 10ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් සේවයේ යෙදෙන සියලුම විදුලි හෝ ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ අලුත්වැඩියා කිරීමේ ස්ථාන
  25. ඊයම් උණු කිරීම සිදු කිරීම ඇතුළත් නොවන මුද්‍රණාල සහ අකුරු මුද්‍රණය කිරීමේ ස්ථාන 

සේවාලාභියා විසින් ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන – 

  • නිවැරිදිව සම්පූර්ණ කරන ලද අයදුම්පත
  • ඔප්පුවේ පිටපතක්
  • පිඹුරු සැළැස්මේ පිටපතක්
  • සංවර්ධිත ස්ථානයට ළඟා වීමේ මාර්ග සිතියම
  • භූ විද්‍යා හා පතල් කැණීම් බලපත්‍රය (ඇත්නම්)

 අදාළ ගාස්තු – 

    • පාරිසරික ආරක්ෂණ බලපත්‍ර ගාස්තු – 4500.00
    • පාරිසරික ආරක්ෂණ බලපත්‍ර අයදුම්පත්‍ර ගාස්තුව –   250.00
    • පරිසර ආරක්ෂණ බලපත්‍ර අළුත් කිරීමේ පෝරම ගාස්තු    –  100.00 
    • පරීක්ෂණ ගාස්තු             – 5000.00
  • පරීක්ෂණ ගාස්තු (මහා පරිමාන ලී මෝල් සඳහා)       – 7500.00

සේවාවට අදාළ ප්‍රධාන වැඩ පියවර – 

  • අයදුම්පත්‍රය සඳහා ගාස්තු ගෙවා අයදුම්පත ලබා ගැනීම.
  • සියළුම ලිපිලේඛන සමඟ භාරගැනීම හා අදාළ ගාස්තු අයකර ගැනීම.
  • කමිටුවට ඉදිරිපත් කිරීම හා අදාළ නිර්දේශ අනුව සේවාලාභියා දැනුවත් කිරීම. (අඩුපාඩු ඇත්නම් ඒවා සම්පූර්ණ කරන ලෙස හෝ එසේ නොමැතිනම් අනුමත බලපත්‍රය ලබාගන්නා ලෙස දැන්වීම)