සංචාරක ස්ථාන

සරදියෙල් ගම්මානය

මැද කඳුකරයේ සොඳුරු ඉසව්වක පිහිටි, සබරගමුවේ සුවදායක පරිසරය ආශ්‍රිතව පිහිටා තිබෙන මාවනැල්ල, සොබා සෞන්දර්යයෙන් අනූන, ඓතිහාසික වටිනාකම් සැඟවුණු ප්‍රදේශයකි. මාවනැල්ලේ උරුමයට වටිනාකමක් එක් කරනඋතුවන්කන්ද, ලංකා ඉතිහාසය තුළ සලකුණු තබන්නේ සරදියෙල් චරිතය නිසා ය. සරදියෙල් ජීවත්ව සිටි වකවානුව සිහිපත් කරන සරදියෙල් ගම්මානය, උතුවන්කන්ද පාමුල දී සිත අතීතයට කැඳවාගෙන යන්නට සමත් අපූරු ස්ථානයකි.

1832 මාර්තු 25 වැනි දා උපත ලද දීකිරිකෑවගේ සරදියෙල් හෙවත් උතුවන්කන්දේ සූර සරදියෙල්, ඉංග්‍රීසි පාලනයට විරුද්ධව කටයුතු කිරීම හේතුවෙන්
වැරදිකරුවකු ලෙස නම් කර තිබූ හෙයින්, ඔහු සැඟව සිටියේ උතුවන්කන්ද ප්‍රදේශයේය. කොළඹ සිට උඩරටට ප්‍රවාහන කටයුතු සිදුකළ ගමන් මාර්ගය හොඳින් දර්ශනය වන ස්ථානයක සැඟවී, එම මඟෙහි ගමන් ගන්නා ඉංග්‍රීසි ජාතිකයන්ට හා ඔවුන්ගේ පාක්ෂිකයින්ට පහරදී , ඔවුන් සතු වස්තුව පැහැරගෙන ජනතාව අතර බෙදා දුන් නිසා , සරදියෙල් “ලංකාවේ රොබින් හුඩ්” ලෙස හැඳින්විය . අවස්ථා කිහිපයකදීම අත් අඩංගුවට ගත්ත ද එයින් මිදී පැන යාමට තරම් සරදියෙල් දක්ෂයකු විය. ලංකා ඉතිහාසයේ පළමු වරට පොලිස් නිලධාරියකු මරා දැමෙන්නේ ද ඔහු අතිනි. 1864 මාර්තු 21 වැනි දින අත් අඩංගුවට ගත් සූර සරදියෙල් නම් ජනතාවගේ වීරයා, 1864 මැයි මස 7 වැනි දින මරුමුවට පත් කරනු ලැබිණි . සරදියෙල් පිළිබඳ කතා කරන්නට, පොත් පිරෙන්නට ලියන්නට තරම් කතන්දර තිබේ. ඔහු සිහි කරනු වස් උතුවන්කන්දේ නිර්මාණය කර ඇති “ සරදියෙල්

ගම්මානය “ ද අතිශයින් ම දැකුම්කළු ය. කොළඹ – නුවර මාර්ගයේ යන විටමුණ ගැසෙන උතුවන්කන්දේ පිහිටි උතුවන තැපැල් කන්තෝරුව අසලින් වමට
හැරී, කිලෝමීටරයක් පමණ ගමන් කරන විට සරදියෙල් ගම්මානය හමුවේ. අක්කර හයක තරම් විශාල භූමි භාගයක් තුළ ගොඩනැගී ඇති සරදියෙල්
ගම්මානය වෛද්‍ය ආරියසේන යූ. ගමගේ මහතාගේ සංකල්පයක් අනුව, ගොඩනැගුණු ස්ථානයකි. 1980 දශකයේ මාවනැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා ලෙස එතුමා සේවය කරන අවදියේ එක්තරා රෝගියකු පරීක්ෂා කිරීමට ගිය ගමනකදී, ඔහුට සරදියෙල් පිළිබඳ අධ්‍යයනයක යෙදීමට ලැබුණු අවස්ථාව, මේ අපූරු නිර්මාණයෙහි මූලාරම්භය ලෙස හැදින්විය හැකිය. එවක් පටන් සිය සිතෙහි නිර්මාණය වූ මේ කලාත්මක සහ ඉතිහාසය ප්‍රතිනිර්මිත අපූර්ව ගම්මානය සැබෑවක් කරන්නට ආරියසේන වෛද්‍යතුමන් සිය කාලය ශ්‍රමය වැය කරමින් බොහෝ වෙහෙස විය. එවක ගමෙහි මූලික කේන්ද්‍රස්ථානය වූ ආරච්චිගේ නිවෙස ආශ්‍රිතව ගව ගාල, ගම ගෙදර, කුරහන් ගල, නැකැති රාලගේ ගෙදර, රන්කරුවාගේ ගෙදර, කුඹල් ගෙදර, වෙද ගෙදර, මුළුතැන්ගෙය, වී බිස්ස, තිඹිරි ගෙය, දඬුකඳ කියන මේ කරුණු කාරණා සියල්ල පිළිවෙළකට නිමවා ඇති මේ ගම්මානය තුළ, එම කාල
වකවානුවේ ජන ජීවිතය කියවාගත හැකි පරිදි නිර්මිත පිළිරූ ඇසුරින් නරඹන්නන් අතීතයට රැගෙන යයි. සරදියෙල් සිය ළමා වියේ අකුරු කළ තැන් පටන් ගෝන්දිවෙල ආරච්චිගේ මල්ලිගේ පුතාට බැට දුන් ආකාරය සහ අනතුරුව චෞරයකු වීම තෙක් සරදියෙල් චරිතය ක්‍රමානුකූලව ගොඩනැඟුණු ආකාරය විදහා දැක්වීමට සියුම් භාව ප්‍රකාශන පවා ඉස්මතු කරමින් මේ ප්‍රතිමා නිර්මාණය කරන්නේ, චිත්‍ර කලා ගුරුවරයකු වන මිල්ටන් ජයපාල මහතා ය.

වෛද්‍ය ආරියසේන යූ. ගමගේ මහතාගේ දැඩි උත්සාහය මල්ඵල ගන්වමින්, සරදියෙල් ගම්මානය 2012 ජනවාරි 29 වැනි දින මහජනතාවට විවෘත විය.
ඉතිහාසය සහ සොබාදහම පිළිබඳ අධ්‍යයනය කරන අයට මෙන් ම, ඡායාරූපකරණය, සිනමා සහ ටෙලි නාට්‍ය නිර්මාණය සඳහා ද යොදාගත හැකි අයුරින් මේ ගම්මානය නිර්මාණය වී තිබේ. එසේ ම, කඳු නැගීම, කඳවුරු නිර්මාණය කිරීම වැනි ක්‍රියාකාරකම්වල නිරත වන අයට ද සරදියල් ගම්මානය අපූරු තෝතැන්නකි. සරදියෙල් ගම්මානය නැරැඹීම සඳහා පූජ්‍ය පක‍ෂය සහ පෙර පාසල් ළමයින්ගෙන් අය කිරිමක් නොකෙරේ.

අලුත්නුවර දැඩිමුණ්ඩ දේවාලය

අලුත් නුවර ශ්‍රී දැඩිමුණ්ඩ මහා දේවාලයේ ඉතිහාසය හා පිහිටීම.

කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ මාවනැල්ල නගරය පසු කර කි.මී 1.5 පමණ යන විට හිඟුල හන්දියෙන් හැරී කි.මී. 07 ක් පමණ දුරක් ගිය විට අලුත් නුවර ශ්‍රී දැඩිමුණ්ඩ මහා දේවාලය වෙත ළඟා විය හැකිය.

මාවනැල්ල අලුත් නුවර දැඩිමුණ්ඩ දේවාලයේ ඉතිහාසය දඹදෙණි රාජ්‍ය කාලය තරම් ඈත කාලයකට අයිති බව අලුත් නුවර දේවාලය කරවීම නම් පුරාණ පුස්කොළ ලියැවිල්ලේ සඳහන් වී ඇත. වර්ෂ 1236-1270 කාලයේ දඹදෙණියේ රජකළ දෙවැනි පරාක්‍රමබාහු රජතුමාගේ විසි දෙවැනි රාජ්‍ය වර්ෂයේදී එතුමන්ට වැළඳුණු රෝගාබාධයක් නිසා එයින් මිදීමට කළ හැකි කිසිවක් නොවුණු තැන අවසන් උත්සාහය ලෙස අලුත්නුවර දේවාලයට භාරයක් වූ බවත් මෙහි එකල වැඩිසිටි උපුල්වන් හෙවත් විෂ්ණු දෙවිඳුන්ට පුද පඬුරු හැටියට රන් ආයුධ දේව රූපය සිතුවම් කළ පෙතිකඩක් රැගෙන අවුත් තුන් අවුරුද්දක් මෙතැන පුද පූජා කළ බවද සඳහන් වේ.

දඹදෙණි යුගයේදී මෙම පුද බිමේ ඉදි කරන ලද උපුල්වන් දේවාලය දැනට විශාල මාරා ගස ඇති ස්ථානයේ ඉදිකර තිබුන දේවාලය මහනුවරට ගෙන යාමෙන් පසුව එහි පල්ලේ දේවාලය හෙවත් පරිවාර දැඩිමුණ්ඩ දේවාලයට බැතිමතුන් පැමින පුද පූජා පැවැත් වූ බවත් ඉතිහාසයේ සදහන් වේ. ඒ අනුව දැඩිමුණ්ඩ දෙවියන් වෙනුවෙන් වෙනම ඉදිකරන ලද මුල්ම දේවාලය මෙය වේ. ක්‍රි.ව. 1715 දී පමණ අළුත් නුවර
පුරාණ ලෙන් විහාරයේ වැඩ විසූ අස්සද්දනා පිරිවෙන්පති හිමියන්ගේ අනුශාසනාව පරිදි සෙනරත් රජතුමන් විසින් මෙම දේවාලය ඉදි කරවීමට භූමිය සකස් කිරීමේදී විශාල ගල් පවුවක් හමු වී ඇත. මෙම ස්ථානයේ තුන් මහල් දේවාලයක් ගොඩ නගා තිබුණත් මෙතැනට එන පිරිසට පහසු ගමන් මාර්ගයක් නොතිබුණේ දේවාලය වට කොටගෙන තිබූ ඉහත කී මහා ගල් පර්වතය නිසාය. අස්සද්දන පිරිවෙන්පති හිමියන් නිලමේවරුන් ඇතුළු පිරිසක් මෙතැනට පැමිණ අසල තිබූ දෙහි ගසක පඬුරක් ගැටගසා දැඩිමුණ්ඩ දෙවියන්ට භාරයක් වීමෙන් පසු එක් රැයකින් එම ගල් පර්වතය සුනු විසුනු වී මග දෙපස සකස් වූ බව ගල බිඳින ලද සැහැල්ලේ විස්තර සහිතව දැක්වෙයි. උඩ වීදිය ඔස්සේ අදත් මෙම දේවාලයට එන බැතිමතුන්ට දැක ගත හැකි ඉරහඳ කොටා ඇති මට සිලිටු ගල් වැටිය දැනටත් දක්නට ලැබෙන එක් සාක්ෂියකි. දේව ආභරණ ප්‍රදර්ශනය කරමින් ලක්ෂ සංඛ්‍යාත ජනී ජනයාට සෙත් පතමින් ඉතා අලංකාර පෙරහැර මංගල්‍යයක්ද වාර්ෂිකව පැවැත්වේ. අද දක්නට ලැබෙන දේවාලයේ ඉතිහාසය දැනට වසර 200 ක් 300 ක් පමණ ඈතට දිව යයි. මොල්ලිගොඩ අදිකාරම් තුමා ඉංග්‍රීසි ආණ්ඩුව විසින් රටෙන් පිටුවහල් කිරීමට නියම වූ අවස්ථාවේ මෙම ස්ථානයට පැමිණ බාරයක් වී ඇත.මොල්ලිගොඩ වලව්ව මෙම ස්ථානයේ සිට කිලෝමීටර් තුනක් පමණ දුරින් පිහිටා ඇත. රුවල් නැවෙන් අදිකාරම්තුමා පිටුවහල් කළද දින හතක් රුවල් නැව මුහුදේ පාවෙමින් තිබී ගොඩ බිමට පැමිණ ඇත. එසේ වූයේ දැඩිමුණ්ඩ දේව බලය නිසාම බව දැනගත් මොල්ලිගොඩ අදිකාරම්තුමා මේ දේව
මන්දිරය සාදවා ඇත.

දැඩිමුණ්ඩ දෙවියන් විවිධාකාර අපහසුතාවයන්ට පත් වූවන්ට පිළිසරණ වන දෙවියකු ලෙසද මුළු මහත්ජනතාව තුළම ප්‍රසාදය දිනා ගත්තෙකි. අතීතයේ සිටම මෙම දෙවියන් පිළිබඳව මෙරට ජනතාව දැඩි භක්තියකින් පසු වූ බව විවිධ ජනශ්‍රැතීන්ගෙන් මෙන්ම ජන කාව්‍යයන්ගෙන්ද හෙළි වෙයි. දැනට කොළඹ ජාතික කෞතුකාගාරයේ ඇති ජනකාව්‍යයයන් එයට සාක්ෂි දරයි.

දැඩිමුණ්ඩ දෙවියන්ගේ උපත.

පුර්ණක නම් යක්‍ෂ සේනාධිපතිට දාව එරන්දතී නම් නාගමානවිකාවගේ කුසෙන් උපන් මෙකී දෙවියන්ට දැඩි සිතක්‌ හා මුඩු වූ හිසක්‌ද ඇති බැවින් දැඩිමුණ්‌ඩ යන නාමයෙන් හැඳින්වූ බව කියෑවේ. පූර්ණක යක්‍ෂ සේනාධිපති හා එරන්දතී නාග කන්‍යාව විධුර ජාතකයටද අයත් ප්‍රධාන චරිත දෙකකි. හිමාල වනයේ සමුද්‍ර තීරයෙහි සැට යොදුන් උස ඇති කාලගිරි නම් වූ අඤ්ජනගිරි පර්වතයේ දැඩිමුණ්‌ඩ දෙවිඳුන්ගේ උපත සිදුවූ බව විශ්වාස කෙරේ.යක්ෂ වෙස් මුහුණට නයිපෙණ එකතුවන්නේ එරන්දතිය නාග ගෝත්‍රික නිසාවෙනි. දස්‌කම් රැසකින් පිරිපුන් තෙද බලැති දැඩිමුණ්‌ඩ දෙවිඳුන් වෙසමුණි, ශක්‍ර, ශ්‍රී විෂ්ණු හා ස්‌කන්ධ කුමාර යන දෙව්රජවරුන්ගේ වරමින් ලක්‌දිව සම්බුදු සසුන ආරක්‍ෂා කිරීමට මෙහි පැමිණි බවද
පැවසේ. කුඩා කල සිටම දැඩිමුණ්ඩ කුමරා අංගම් සටනට දක්ෂයකි.අලුත්නුවර දේවතා බණ්‌ඩාර, මැණික්‌ බණ්‌ඩාර, ඌවේ බණ්‌ඩාර, කීර්ති බණ්‌ඩාර යන නම් වලින්ද හැඳින්වෙන දැඩිමුණ්‌ඩ දෙවියෝ පුරාණ ලංකාවේ පැතිර තිබුණු ගෝත්‍රික සතරින් ප්‍රබලතම ගෝත්‍රික දෙකක්‌ වන යක්‍ෂ, නාග යන ගෝත්‍ර
දෙකෙහිම සම්බන්ධතාවය ඇති ප්‍රබල ජන නායකයෙකි. සාමාන්‍ය ජනමතවාද අනුව සැලකෙන්නේ උපුල්වන් දෙවිඳුන්ගේ ප්‍රධාන අමාත්‍යවරයා දැඩිමුණ්ඩ දෙවිහාමුදුරුවන් බවයි. හඳුන් වනයේ විසූ හෙයින් ‘හඳුන් කුමාර’ නමින්ද, මාණික්‍ය භාණ්ඩාගාරයේ ආරක්‍ෂක කටයුතු භාරව සිටි හෙයින් ‘මැණික් බණ්ඩාර’ නමින්ද, සොළී පරදේසක්කාරයන් ලක්දිව බලයට පත්ව සිටි සමයේ ඔවුන් හා යුද්ධ කොට අල්ලා ගත් ප්‍රදේශ ආරක්‍ෂා කළ හෙයින් ඌවේ බණ්ඩාර’ නමින්ද, ඇම්බැක්කේ මහ දේවාලයට අධිපති වීමෙන් ‘ඇම්බැක්කේ දේවතා බණ්ඩාර’ නමින්ද, ඇතෙකු පිට නැඟී සටන් වැද කිරුළ ගම්කන්ද දෙබෑකර සතුරු බළමුළු විනාශ කළ නිසා ‘කිරුළ බණ්ඩාර’ නමින්ද,කෙහෙල් පන්නල ග්‍රාමයට නුදුරින් මහ වනයේ අලුත් නුවරක් පිහිටූ වූ හෙයින් ‘අලුත්නුවර දේවතා බණ්ඩාර’ නමින්ද හදුන්වනු ලබයි.නාග,භූත, ප්‍රේත, සිංහ, කන්නඩි, රාග, නාද ගොපලු, පිල්ලි, ගිනිජල්, වේග, ලවුඩි, එගිනි, බ්‍රාඩි, මලවර, බාග, දෙවොල්, වටකුමාර හා මංගර යන යක්‍ෂයන් උන්වහන්සේගේ පිරිවර යැයි කියති. මොහු දකුණු ලක උපුල්වන් දෙවියන්ගේ අධිකාරම් ලෙස දෙව්න්දර වැඩ සිටි එතැනින් අද බලංගොඩ ලෙස හැදින්වෙන තැනට පැමිණ උක් මුං හේනක් ගල් වෙන්ට වරම් දෙයි. දැඩිමුණ්ඩ කන්නලව්වේ මෙය
සදහන්ය. එම තැනට උග්ගල් අළුත්නුවර යන නමක් පටබැද එතැනින් අළුත්ගම අද දැඩිමුණ්ඩ දේවාලය ඇති තැන මාලිගාවේ අධිකාරම් ලෙස පත්වී සේවය කරයි. ඒ අවදියේ වඩිග රටින් වහලුන් ගෙන්නවා මහ වේවැල් වලින් දේවාලය ඉදිරියේ ගල කප්පවා උඩ මලුව, පල්ලෙ මලුව ආදී ලෙස නිර්මාණයන් කරයි.මීට අමතරව උන්වහන්සේ එක්‌ දිනකින් සැට යාලක්‌ කෙත් අස්‌වැද්දීම වැනි විස්‌මිත ක්‍රියා හේතුවෙන් අලුත්නුවර

දෙවියන් ලෙස ප්‍රසිද්ධ වූහ. අද වන විට දැඩිමුණ්ඩ දෙවියන්ගේ ප්‍රධාන දේවාලය වන්නේ ද මාවනැල්ල අලුත් නුවර ශ්‍රි දැඩිමුණ්ඩ මහා දේවාලයයි.
දැඩි මුණ්ඩ යන ගෞරව නාමය බුදුන් වහන්සේ මෙම දෙවියන්ට ලබා දුන් බවක් ඇතැම් තැනක සඳහන් වන අතර ඊට පෙර හඳුන්වා ඇත්තේ දුනුමන්ත නමිනි.ගෞතම බුදුන් බුදු වන කාලයේ බුදුන්ව ආරක්ෂා කරන ලෙස වෙසමුණි රජු එනම් පූර්ණකගේ අම්මාගේ අයියා මොහුට පවසා ඇති බවත් දසබිම්බර මාරයන් එන අවස්තාවේ බෝසතානන් හැරදමා සියලු දෙවිවරුන් පලායද්දී දුනුමන්ත පමණක් දුන්නත් අතැතිව නොසැලී සිට ඇත.ආයුධ කුමට වේවැලෙන් තලමි කියා වේවැලක් අතැතිව සිටි බව සදහන් වේ.මාරයන් පරාජය කල බෝසතානන් තමන් හැර නොගිය මේ 16 හැවිරිදි කුමරාට දැඩි මෘඝ පුද්ගලයා යන අරුතින් දැඩිමුණ්ඩ යන ගෞරව නාමය දෙන ලද බවද සඳහන්ය. එදා වෙසක්‌ මස පුර පසළොස්‌වක පොහෝ දින නේරංජනා නදී තීරයේදී ඇසතු බෝරුක මුල වැඩහුන් සිදුහත් තවුසාණන්ට පියවරෙන් පියවර ලෝකෝත්තර ඥනය පහලවෙද්දී සිදුහත් තවුසාණන්ට බුද්ධත්වය ලබාගැනීමට ඉඩ නොදෙමියි සිතූ වසවර්ති මාරයා දස බිම්බරක්‌ මාර සේනාව රැගෙන පැමිණි මොහොතේ එහි රැකවල්ලා සිටි සියලු දෙවි දේවතාවෝ මාර සෙනගට බියෙන් පලාගියහ. ඒ බව දුටු වෛශ්‍රවණ හෙවත් වෙසමුණි දැඩිමුණ්‌ඩ දෙවිඳු කැඳවා සිදුහත් කුමරුගේ ආරක්‍ෂාව පිණිස පිටත්කර හැර ඇත. සුදුවතින් සැරසී රන් දුන්නක්‌ අත දරමින් විවිධ බියකරු වෙස්‌ මවාපාමින් අවි අමෝරා ආ දසබිම්බරක්‌ මාර සේනාව පැරද වූ දැඩිමුණ්‌ඩ දෙවිඳු මහමෙර මත වූ වසවර්ති මාරයාගේ විමානයද විනාශ කර ඇත.

දැඩිමුණ්ඩ දෙවියන්ගේ ශ්‍රී ලංකා සම්ප්‍රාප්තිය හා සේවාව.

ලක්දිව බුදු සසුන වසර පන්දහස් පන්සියයක් කල් රැක ගැනීමට වරම් දුන්නෙන් විෂ්ණු, වෙසමුණි, ශක්‍රආදී මහා දෙවිවරුන්ගෙන්ද වරම් ගෙන, ලක්දිවට එන අරමුණින් නැව් නැංගේය. නැව එන අතරමඟදී විශාල කුණාටුවකට හසුවිය. මහත් වෙහෙසින් මහා සාගරය තරණය කොට ලක්දිව දෙවුන්දරට (දෙවිනුරට) ගොඩ බැස දෙවුන්දරින් සීනිගමටත්, සීනිගමින් අලුත්නුවරටත් වැඩ උක් හේනක් දැක එය ගල් වෙන්න වරම් දී උග්ගල් අලුත් නුවර නමින් ප්‍රසිද්ධ කරවීය. දැඩිමුණ්ඩ වරම පුස්කොළ ග්‍රන්ථයේ සඳහන් වන්නේ උග්ගල් අලුත්නුවරින් දඹදෙණි නුවරට ගොස් රාජගිරි ගල්ලෙන් ප්‍රදේශයේ දෙව් විමනක් කරවා නතර වූ බවය.

නැවැත සතර කෝරලයේ කිරුගන්දෙණියේ ගල්ලෙනට පැමිණි දැඩිමුණ්ඩ දෙවි යකුන්ගේ සහායෙන් විෂ්ණු දෙවියන් වෙනුවෙන් දෙවොලක් කරවූ බව ගලකැප්ප වූ සැහැල්ලේ සඳහන් වේ. වඩිග, බන්ගාලි, ගව්සිය, මලල, කොන්ගනී, කවුඩී, කාවේරී ආදී ලක්දිව සියලු දේශවලින් ගෙන්වූ යක්‍ෂ ගෝත්‍රිකයන් හට නොයෙකුත් කැවිලි පිදේනි දී එක් රැයකින් ගල කප්පවා දෙවොල කරවූ බව ජනශ්‍රැතියේ කියැවේ. මෙකල සිරිලක් රාජ්‍ය පාලනය කල දඹදෙණි රජුට විරුද්ධ වූ තරුණ පිරිසක් කැරැලි ගසන්න විය. රජු එය මර්ධනය කිරීම දැඩිමුණ්ඩට පැවැරීය. දැඩිමුණ්ඩ ඉතා ශූර ලෙස කැරැල්ල මැඬපවත්වා කැරැලිකරුවන් රජු ඉදිරියට පැමිණවීය. රජුගේ තීරණය වූයේ ඔවුන් සියල්ලම හිස ගසා මරා දමන ලෙසයි. නමුත් දැඩිමුණ්ඩ එය වළක්වා කැරැලිකාර තරුණයන්ට අභයදානය දී ඔවුන්ව දෙවනගලට ගෙන ගොස් එතැන් සිට රහලගල දක්වාත් රාස්සව කන්දේ සිට බතලේගල දක්වාත් කැලෑ කප්පවා හෙළිපෙහෙළි කොට ඇළ මාර්ග හරවා කුඹුරු කෙත්වතු අස්වද්දවා තරුණ ජවයෙන් රට ස්වයංපෝෂිත කරවීය. එහිදී උඩමළුව, පල්ලෙමළුව, උඩ වීදිය, පල්ලෙවීදිය, දික් වීදිය, කොට වීදිය ආදී හැට යාලක් කෙත් අස්වැද්ද වූ බව කියැවේ. තරුණයන්ගෙන් වැඩ ගනිද්දී නිතරම වේවැලක් අතින් ගෙන සිටි ඔහු කෘෂි කර්මාන්තය වෙනුවෙන් කළ මෙහෙවර වෙනුවෙන් රටේ ජනතාවගේත්, රජුන් ඇතුළු ප්‍රභූන්ගේත් ප්‍රසාදයට ලක්වී සෙනෙවිරත්න අධිකාරම් ධුරයද හිමිවූ බව දැඩිමුණ්ඩ කන්නලව්වේ සඳහන් වේ. එතැන් පටන් ලක්දිව ජනයා අතර දේවත්වයට පත්ව සබරගමු පළාත් ජනයාගේ විශේෂ ගරු බුහුමනට පාත්‍ර වන අතර මාවනැල්ලේ හිඟුල ආශ්‍රිත අලුත්නුවර මහ දෙවොල දැඩිමුණ්ඩ දෙවියන් පුද ලබන ප්‍රධාන ස්ථානය වේ. කන්ද උඩරට රාජධානියේ නිලමේවරයකුගේ ඇඳුම් ආයිත්තම්වලින් සැරැසී සිටින දැඩිමුණ්ඩ දෙවියන් වේවැලක් හෝ සැරයටියක් සුරතින් දරා සැවුළාගේ පිටින් ගමන් වඩී. තමන්ගෙන් පිහිට පතන සියලු නර වැසියන්ට පැමිණෙන්නා වූ අනවින, කොඩිවින දෝෂාන්ධකාරයන්ද, යක්‍ෂ, භූත, පිසාච, කුම්භාණ්ඩාදීන්ගේ උපද්‍රවයන්ද, තුන්දොසින් හටගත් දෝෂාන්ධකාරයන්ද මඟහරවා සර්වාරක්‍ෂාව ලබාදෙන අලුත්නුවර දැඩිමුණ්ඩ දෙවියන් අනවින සොරසතුරුකම් කරනවුන්ට දැඩි දඬුවම් ලබාදෙන බවද විශ්වාස කෙරේ. කෝට්ටේ හයවන පරාක්‍රමබාහු මහ රජතුමා, තමන් මෙහෙය වූ යාපනය යුද්ධයට එතුමාගේ පුත්
තනතුරෙහි වැඩුණු සපුමල් කුමාරයාව ‘බල සේනානායක’ තනතුරට පත් කොට යාපා පටුන (යාපනය) ජය ගැනීම සඳහා යැව්වේ ය. දක්‍ෂ සෙන්පතියෙකු වූ සපුමල් කුමාරයාට මුහුණ දීමට සිදු වූයේ සේනා බලයෙන් සහ අර්ථ බලයෙන් උසස් වූ ආර්ය චක්‍රවර්තී නම් බලසම්පන්න ප්‍රදේශාධිපතියෙකුට ය.

කෙසේ වුවත් සපුමල් කුමරු ගමන ආරම්භ කිරීමට පෙර, යුද්ධයෙන් ජය ලබා ගැනීමේ අධිෂ්ඨානය ඇති ව කෝට්ටේ රජමහා විහාරයේ දැඩිමුණ්ඩ මහ දේවාලයේ (වර්තමාන සපුමල් බණ්ඩාර – දැඩිමුණ්ඩ මහ දේවාලය) ප‍්‍රධාන දොරටුවෙහි පඬුරක් ගැටගසා දැඩිමුණ්ඩ දෙවියන්ට භාරයක් වූ බව ඉතිහාසයේ සඳහන් වෙයි. කුමාරයාගේ ඒකායන ප්‍රාර්ථනය වූයේ නියත වශයෙන් ම යුද්ධය ජය ගැනීමයි. එය එසේ ම ඉෂ්ට වෙමින්, යාපනය පාලනය කළ කනගසූරිය සිංගෙයි ආර්යචක්‍රවර්තී රජු පරාජය කොට සපුමල් කුමරු නියත වශයෙන් ම යාපා පටුන ජය ගත්තේ ය. හෙතෙම එහි වූ ද්‍රවිඩ බලය සම්පූර්ණයෙන් ම අහෝසි කළේ ය. ජයග්‍රහණයෙන් පසු කුමාරයා කළ ප්‍රථම කාර්යය වූයේ දැඩිමුණ්ඩ දෙවියන්ට තමා වූ භාරය ඉෂ්ට කිරීම ය. ඒ සඳහා සපුමල් කුමාරයා නැවත කෝට්ටේ රාජධානියට පැමිණ තමා යුද්ධය සඳහා භාවිතා කළ රන් අසිපත දැඩිමුණ්ඩ දෙවියන්ට පූජා කළේ ය.
පරංගි ආක්‍රමණ පැවැති සමයේ අලුත් නුවරද වැටලූ බවත් එවිට උන්වහන්සේ යකුන්ට අඬගසා ඔවුන් පන්නා දැමූ බවත් පැරණි කාව්‍ය ග්‍රන්ථවල ලියෑවී තිබේ. සිය පියාණන් වූ පූර්ණක යක්‍ෂ සේනාධිපති මෙන්ම යුද සේනා මෙහෙයවීම් මනා දක්‍ෂතාවක්‌ දැඩි මුණ්‌ඩ දෙවිඳුන්ටද තිබූ බව කියෑවේ.

මාවනැල්ලේ අලුත්නුවර දැඩිමුණ්ඩ දේවාලය

අලුත්නුවර ගිරුවා අම්බලම

අලුත්නුවර ගිරුවා අම්බලම කෑගල්ල දිස්ත්‍රික්කයේ අලුත්නුවර දැඩිමුණ්ඩ දේවාලයට නුදුරින් පිහිටි ඓතිහාසික මංසන්ධියකි . මෙම ස්ථානය දෙවන
පරාක්‍රමබාහු රජුගේ (ක්‍රි.ව. 1236-1276) ප්‍රධාන බිරිඳ සහ I බුවනෙකබාහු රජුගේ මව වන සුනේත්‍රාදේවි රැජින විසින් ඉදිකරන ලද්දක් බවට විශ්වාස
කෙරේ. කළුගල් කුළුණු දහසයක් ගොඩනැගිල්ලේ වහලය රඳවා ඇත. ඒවායින් සමහරක් පරිපූර්ණ ලෙස කැපූ හතරැස් කුළුණු වන අතර අනෙක් ඒවා
නිසි හැඩයක් නොමැති විශාල සිරස් අතට තබා ඇති පාෂාණ තීරු වේ.  මෙම අම්බලම වෙනත් ස්ථානයක සිට ගෙන එන ලද කුළුණු භාවිතා කර ඉදිකර ඇති අතර ගොඩනැඟිල්ල ඉක්මනින් නිම කිරීමේ මුලික අරමුණ ඇතිව සමතුලිතතාවයකින් තොරව ගල් කණු කපා ඇත. එසේම කිහිප වතාවක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සංරක්ෂණය කර ඇති බවට ද නිරීක්ෂණය වේ.

හිඟුල ටැම්පිට රජමහා විහාරය

හිඟුල රජමහා විහාරය යනු කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ලට කිලෝමීටර් 5ක් දුරින් නුවර පාරේ සිට කිලෝමීටරයක් පමණ දුරින් සැඟවුණු ටැම්පිට විහාරයක් සහිත පුරාණ විහාරස්ථානයකි. මාවනැල්ල නගරයේ සිට මහනුවර දෙසට කිලෝමීටර් 4.3 ක් ගමන් කර දකුණු දෙසට හැරී අලුත්නුවර පාරට පිවිසෙන්න. මෙම මාර්ගයේ මීටර් 800 ක් ගිය පසු නැවතත් දකුණට කොන්ක්‍රීට් දැමූ පටු මාර්ග‍යක් හමුවන අතර මෙම මාර්ගයේ මීටර් 100 ක් ගිය පසු ඔබට බෝධිමළුව විහාරය හමුවන අතර මෙම මාර්ගයේ තවත් මීටර් 500 ක් ගිය විට ඔබට හිඟුල ටැම්පිට විහාරය හමුවේ.

අබලන්ව පැවති මෙම විහාරය උඩරට රාජධානියේ කිර්ති ශ්‍රී රාජසිංහ විසින් සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කරන ලද බැවින් මෙම විහාරය
කිර්ති ශ්‍රී රාජසිංහ විහාරය ලෙසද හැඳින්වේ. මෙම විහාරස්ථානයට පැමිණෙන අමුත්තන්ට නිරීක්ෂණය කළ හැකි මෙම විහාරස්ථානයේ සුවිශේෂී ලක්ෂණයක් වන්නේ ටැම්පිට විහාරයයි. ටැම්පිට විහාරය මහනුවර යුගයේ විහාරස්ථානවල ජනප්‍රිය වාස්තු විද්‍යාත්මක අංගයක් විය. මෙම විහාරය ඉදිකර ඇත්තේ කළුගල් කුට්ටි මත ලී වේදිකාවක් සහිත කඳන් හරහා ය. හිඟුල ටැම්පිට විහාරය දිගින් අඩි 20 ක් සහ පළල අඩි 17 කි. රූප කුටිය දිගින් අඩි 12 අඟල් 6ක් සහ පළල අඩි 9 අඟල් 6කි. සම්පූර්ණ ව්‍යුහය අඩි දහතුනක් උස කළුගල් කණු මත ඉදිකර ඇත. රූප ගෘහය වටා අඩි 3ක් පළල වටරවුම් මාර්ගයක් ඉදිකර ඇති අතර එහි කෙළවරේ අඩක් උස බිත්තියක් ඇත. ලී බැලයක් සහිත ග්‍රැනයිට් පඩිපෙළක් දේවමාළිගාවට
පිවිසීමට මඟ පෙන්වයි.

මෑතක දී ප්‍රධාන ප්‍රතිසංස්කරණ කිහිපයක් සිදු කර ඇති අතර එමඟින් බොහෝ පුරාණ ලක්ෂණයන් අහිමි වී ඇත. කණුවල පාදය සිමෙන්ති කර ටැම්පිට විහාරයේ ලී බිම වෙනුවට කොන්ක්‍රීට් දමා ඇත. දොරටුවේ ඇති මුර දේවතාවුන් දෙදෙනා නිල් පැහැයෙන් වර්ණාලේප කර ඇත. විහාරය තුළ ඇති සිතුවම් ද මෑත කාලීන ඒවා ය.

අම්බුලුගල ශ්‍රී දන්තපාය රජමහා ටැම්පිට විහාරය

රාජකීයයන්ගේ පුදබිමක් වශයෙන් පැවැති අම්බුලුගල රජමහා විහාරය කෝට්ටේ යුගයේ මහරජව සිටි හයවැනි සිරි පැරකුම්බා රජ විසින් ආරම්භ
කළේ යැයි සන්නසකින් හෙළිවේ. එම සන්නස හිමි බණ්ඩාර නම් කෙනකු හට හයවැනි බුවනෙකබාහු හෙවත් සපුමල් කුමරු විසින් දුන් සන්නසකි.
හයවැනි සිරි පැරකුම්බා රජු තමන්ගේ ජීවතාරක්ෂාව පතා අම්බුලුගල ගමේ ගත කළ තම බාල කාලය සිහිපත් වීම සඳහා මේ ස්ථානය කරවූ
බව එහි වැඩි දුරටත් සඳහන් වේ. ඒ අනුව කෝට්ටේ යුගයේ හයවැනි පැරකුම්බා හයවැනි බුවනෙකබාහු , අටවැනි වීර පරාක‍්‍රමබාහු යන රජවරුන් ගේ හා මායාදුන්නේ යුවරජු හෙවත් පරතාපසිංහ කුමරු යන සිව්දෙනාගේ ජීවිත ප‍්‍රවෘත්ති හා මෙම ස්ථානය සම්බන්ධ වේ.

දෙමහල් ටැම්පිට විහාර මන්දිරයජනප‍්‍රවාදයේ එන ලෙසට පරසතුරු උවදුරු වලින් ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ ආරක්ෂා කර ගැනීමට රහසිගතව
මෙහි තැන්පත් තර තිබූ බව සඳහන් ය. එනිසා ශ්‍රී දන්තපාය යනුවෙන්ද මෙම ස්ථානය හඳුන්වනු ලැබේ. දෙමහල් ටැම්පිට පිළිමගෙයක් වන මෙහි එකල යටි මහලේ පිළිමගෙයද, උඩුමහලේ දන්තධාතුන් වහන්සේ තැන්පත් කර තිබූ බවද සිතිය හැක. නමුත් මෙම විහාරගෙය පිළිබඳව කළ පුරා විද්‍යා සමීක්‍ෂණ වලදී කෝට්ටේ යුගයේදී මෙය දෙමහල් පිළිමගෙයක් ලෙස පැවැති බව පෙනී ගොස් ඇත. චෛත්‍යය පැරැණි ගල් උළුවස්සපහත මාලයේ බුදු පිළිමය තිබූගල් පුවරුව තවමත් එතැන දැකගත හැකිය. විහාර මන්දිරය ගොඩ නගා තිබෙන්නේ අඩි 26 ක් දිග අඩි 18 ක් පළල ගෙපලක් මත ය. වේකොළදෙණියේ නල්ල පෙරුමාල් ශිල්පියා විහාරය ඉදිකළ බව සතර කෝරළයේ විත්ති පොතේ සඳහන් වේ.මෙහි ඇති ගල් උළුවස්ස නිසා මෙම ස්ථානය පුරාවිද්‍යාත්මකව විශේෂ වටිනාකමක් දක්වයි. එහි ඇති කැටයම් කෝට්ටේ යුගයට අයත්වන අතර ලංකාවේ කිසිදු පළාතක විහාරස්ථානයක නොමැති රූප එහි ඇත. මෙහි උළුවහු කණු දෙකක්, හරස් කඩයත් ගලින් නිමවා පසුව ගල් තුනම එකතු කොට කැටයම් කර ඇත. සිංහරූප , ලියවැල්, පලාපෙති,මල්වැල් හා ශූන්‍ය තීරු යොදා මෙය නිමවා තිබේ. ගල් කණුද කැටයම් කළ ඒවා වේ. ඉහල මහලට නැගීමට ලී තරප්පුවකි. දැනට පවතින උඩු මහලේ චිත‍්‍ර මහනුවර යුගයට අයත් ඒවාවේ. උඩරට සිංහල චිත‍්‍ර සම්ප‍්‍රදායට අනුව විහාර චිත‍්‍ර නිමවා ඇති අතර මෙහි පිහිටුවා ඇති සමාධි පිළිමය නැගෙනහිර දිශාවට මුහුණලා ඇත. විහාරයේ ඝණ්ඨාර කුළුණ අනුව මෙම පැරැණි විහාර මන්දිරයෙන්, කෝට්ටේ යුගයට සහ මහනුවර යුගයට අයත් තොරතුරු අපට සනාථ වේ.

මුල් කාලයේ එනම් කෝට්ටේ යුගයේදී මෙහි පහත මාලය හුදෙක් ශාලාවක් ලෙස වන්දනා කරුවන්ට ප‍්‍රයෝජන ගත හැකි පරිදි සකස් කර ඇත. මෙහි
ඇති කැටයම් පිළිබඳ පුරා විද්‍යාඥයකු වශයෙන් ප‍්‍රථම වතාවට සටහනක් තබා ඇත්තේ එච්. සී.පී. බෙල් මහතාය. ඔහුගේ “කෑගලු “ පුරා විද්‍යා පාලන වාර්තාවේ” පිටුවක්පුරා අම්බුලුගල ගල් උළුවස්ස හා ගල්ටැඹක සිතුවමක් දක්වා ඇත. සමහර පුරා විද්‍යාඥයින්ගේ
මතය අනුව මෙම ගල් උළුවස්ස විහාරයට අයත් වූවක් නොවන බවත්, එය නටබුන් වුණු අම්බුලුගල රජ මාළිගය වැනි වෙනත් තැනක තිබී මෙහි
ගෙනෙන ලද්දක් ලෙස සිතීමට හැකි බවත් කියැවේ. මෙහි විශේෂ පිළිසකර කිරීමක් කි‍්‍ර.ව. 1869 – 1885 අතර කාලයක කර ඇත. ඒ අස්ගිරි පාර්ශ්වයේ වැඩ විසු මහානායක වත්තේගම ධම්ම කිත්ති ශ්‍රී සුමංගල මහ තෙරණුවන්ගේ කාලයේය. වර්තමානයේ මෙහි විහාරාධිපති ලෙස පූජ්‍ය අරම සුමණ ධම්ම හිමි කටයුතු කරන අතර ඝණ්ඨාර කුළුණ සංඝාවාසය , ධර්මශාලාව, චෛත්‍යය රාජයාණන් වහන්සේ උන් වහන්සේ ගේ අනුශාසනා ඇතිව ඉදිකර තිබේ.
කෝට්ටේ යුගයේ සිට පැවත එන බෝධිය වටා රන් වැටක් සහිත ප‍්‍රාකාරයක් ඉදිකිරීමට යොජිතය.

අම්බුලුගල ශ්‍රී දන්තපාය රජමහා ටැම්පිට විහාරය

ඔබ කොළඹ – මහනුවර මාර්ගයේ කඩුගන්නාව කන්ද පසුකරමින් කොපමණවත් ගමන් කරන්නට ඇත. එහෙත් පහළ කඩුගන්නාව අම්බලම
අසලින් මාර්ගයෙන් පහළට බැස වන තුරු අතර සැඟවුණු පුරාණ ලෙන් විහාරය දැක බලා සිත සනහා ගන්නට ඇත්තේ කලාතුරකින් කෙනකු විය
හැකි ය. මහා මාර්ගය අසල සිට දකුණට ඇති බෑවුමේ පහළට මීටර 200 ක් පමණ ගමන් කිරීමෙන් විහාරය වෙතට ළඟා වීමට පුළුවන.
පහළ කඩුගන්නාව මාවෙල ගම්මානයේ පිහිටා ඇති මෙම විහාරය හතර කෝරලේ ගල්බඩ කෝරලයේ ගන්නෑ (ගංනවය) පත්තුවට අයත් ය. මෙගම
කෑගලු සහ මහනුවර දිස්ත්‍රික් මායිමේ පිහිටා ඇත. මේ නිසා විහාරය හැඳින්වෙන්නේ ද ගමේ නමින් මාවෙල වලගම්බා ලෙන් විහාරය වශයෙනි.ඉංගී‍්‍රසින් විසින් 1800 මුල් භාගයේ දී කඩුගන්නාව ගල විදිමින් කොළඹ මහනුවර මාර්ගය ඉදි කිරීමට පෙර මාවෙල විහාරයට යන මඟ
වැටී තිබුණේ හිඟුල – හීනටිපොනේ මාර්ගයේ පැමිණ කඳු බෑවුම තරණය කිරීමෙනි. එහෙත් පසුකාලීනව එම මාවත භාවිතය අත් හැරි පසු එය වන
වැදී ගොසිනි. මෑතක දී පහළ කඩුගන්නාවේ මහා මාර්ගයේ සිට විහාරය වෙත ඇති මංපෙත කොන්ක්‍රීට් දමා තනා ඇත. මේ නිසා බැතිමතුන්ට ඉතා
පහසුවෙන් විහාරයට ළඟා විය හැකි ය. ඈතින් සබරගමු කඳු සහ කෙත්වතු පිස එන සුළඟ අප ගත වදී. එය දාහය නිවමින් සිරුර සිහිල් කරවයි. විහාරය වෙත පිවිසෙන විට අවට වටපිටාව අලංකාර කෝණයන්ගෙන් අපට දර්ශනය වෙයි. පහළ නිම්නයේ දිස් වන්නේ මාවෙල ප්‍රදේශයේ කෙත් ය. අවට ගෙවතු සහ ඊට ඉහළින් නැගී සිටිනා සතර කෝරලේ කඳු ප්‍රාන්ත හරිත වර්ණයෙන් දිස් වෙයි.

ඒ අතරින් කැපී පෙනෙන්නේ බතලේගල කන්දයි. අතීතයේ මාවෙල ලෙන්වල වැඩ විසූ භාවනානුයෝගී භික්ෂුන් වහන්සේලා මෙම සුන්දර දර්ශනයෙන් සිත් පහන් කර ගන්නට ඇත. එය ඔවුන්ගේ සිත ඒකාත්මික කර ගැනීම සඳහා අරමුණු කර ගන්නට ඇත. ගල් පව්වකින් පහළට ඇද හැලෙන දිය ඇල්ලක් අපට මුලින්ම හමු විය. එහි හීන් දිය කෙඳි අවට විසිරෙමින් ජල වාෂ්ප බවට පත් වෙයි. මේ අවට ගල් පර්වතවල සිසිලස පි‍්‍රය කරන පර්ණාංග වැවී ඇත. අවට ගස්වල ඒ මේ අත දුව පනින රිළවුන්ට මේ පින්බිම කදිම අභය භූමියක් වී තිබේ. දියඇල්ලට ඔබ්බෙන් විහාරය භූමියයි. ලෙන් විහාරය පිහිටා ඇති වටපිටාව ගල් පර්වතවලින් බහුල ය. මෙම විහාරය කරවා ඇත්තේ කඳු බෑවුම ඔස්සේ ඇදී යන දික් පර්වත තලාවක් ඇසුරු කරගෙන ය. එහි කටාරම් කෙටන ලද ලෙන් තුනකි. පළමු ලෙනෙහි දාගැබ ද දෙවැනි ලෙනෙහි විහාර මන්දිරය ද තෙවැනි ලෙනෙහි සංඝාවාසය ද පිහිටා තිබේ.
මෙම පර්වතයට ඉහළින් පැතිර ඇත්තේ වන වදුලු සහිත වටපිටාවකි. හාවන් මීමින්නන් කලවැද්දන් වැනි සතුන්ට එය කදිම රක්ෂා ස්ථානයක්
බවට පත්ව ඇත. පිරිනිවන් මංචකය දැක්වෙන සැතපෙන ප්‍රතිමාවේ විනාශයට ලක්ව ඇත්තේ හිස තබාගෙන සිටින කොට්ටයයි. 1998/04/04 වන දින විහාරයේ ස්වාමින් වහන්සේලා බැඳ දැමූ හොරු හය දෙනකු විසින් මෙම පිළිමය වනසා නිදන් සොයා ඇත. එය නැවත ප්‍රතිසංස්කරණය කරන ලද අතර 2001/11/08 දින යළිත් කඩාදමන ලදී. ඊට පසු නිදන් හොරු මෙම පිළිමය වනසා දමා ඇත්තේ 2022/11/24 දා ය. දැන් මෙය නැවත පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රතිසංස්කරණයට ලක්ව තිබේ. මාවෙල පමණක් නොව හතර කෝරලේ පිහිටි දනකිරිගල – දෙවනගල – අලවතුර ගනේගොඩ වැනි පුරාණ විහාර රැසක් නිදන් හොරුන්ගේ විනාශයට ලක්ව ඇති බව අපට නිරීක්ෂණය කිරීමට ලැබුණි.

අපි විහාර බිමට පිවිස අවට දර්ශනයෙන් සිත් පහන් කර ගත්තෙමු. වසර සිය ගණනක් තිස්සේ බැතිමතුන් මෙම පුණ්‍ය භූමිය වන්දනා කරගෙන පින්
පුරවා ගන්නට ඇත. ජනප්‍රවාදයේ සඳහන් අයුරින් බොහෝ ලෙන් විහාර මෙන් ම මෙය ද කරවා ඇත්තේ වලගම්බා රජු විසිනි. කෙසේ වුවත් මෙහි
ආරම්භය අනුරාධපුර යුගයේ මුල් භාගයට ඇතුළත් කළ හැකි ලක්ෂණ දෙවැනි ලෙන් විහාරය ඉදිරිපිට ඇති කොරවක්ගල සහ පුන්කලස සහිත
මුරගල් යුවළෙන් පෙනේ. එහි කොරවක්ගලක පූර්ව අනුරාධපුර යුගයට අයත් බ්‍රාහ්මී අක්ෂරවලින් බොතිමශ (බොතිමගේ) යන්න කොටා ඇත. එම
ගල් නිර්මාණය කරවා ඇත්තේ හෝ කර ඇත්තේ බොතිම නම් පුද්ගලයා වන්නට ඇත. වලගම්බා ජනප්‍රවාදය මෑත අතීතයේ මෙයට ආරූඪ කරවා ඇති බව පෙනේ. එච්. සී. පී. බෙල්ගේ 1892 කෑගලු වාර්තාවේ ද එය සඳහන් නොවේ. ඔහු මෙම පුදසුන සඳහන් කරන්නේ මාවෙල ලෙන් විහාරය වශයෙනි.
ඔහුට අසන්නට ලැබී ඇති අයුරින් මෙම විහාරය කරවා ඇත්තේ කෝට්ටේ 6 වැනි පරාක්‍රමබාහු රජු විසිනි. විහාර භූමියේ මුලින්ම පිහිටි ලෙන තුළ දාගැබ දක්නට ලැබේ. මෙම ලෙන දිගින් අඩි 30 ක් ද පළලින් අඩි 20 ක් ද වේ. ලෙනෙහි උස අඩි 22 කි. ලෙනට ඇතුළුවීමට ඇති ප්‍රවේශය දෙපස කොරවක්ගල් දෙකක් සහ චාම් පුන්කලස් මුරගල් දෙකකි. පුන්කලස්වල ඇත්තේ නෙලුම් පොහොට්ටු ය. ඒවා යන්තම් මතුකර පෙන්වා ඇත. කොරවල්ගල් චාම් බොරදම් කැටයමින් යුක්ත ය. මෙවැනි චාම් කැටයම් දැකගත හැක්කේ අනුරාධපුර යුගයේ මුල් භාගයේ දී ය.

මෙහි ඇතුළු ගැබෙහි පිහිටි දාගැබ ගඩොල් සහ මැටියෙන් තනා හුණු පිරියම් කර තිබේ. දාගැබේ විෂ්කම්භය අඩි 8 අඟල් 6 ක් වන අතර උස
අඩි 19 කි. සම චතුරස්‍රාකාර වේදිකාවක් මත දාගැබ ඉදිකර තිබේ. එම වේදිකාව දිගින් හා පළලින් අඩි 11 අඟල් 6 කි. දාගැබ නිසා ලෙන සම්පූර්ණයෙන් පිරී ගොසිනි. දාගැබ වටා සිව්පසින් මකර තොරණ යට වැඩ සිටින හිඳි බුද්ධ ප්‍රතිමා හතරකි. එම ප්‍රතිමා අඩි 4 ක් උසින් යුක්ත ය.  පසුකාලීන තීන්ත ආලේපය නිසා මහනුවර යුගයේ ඉදිකරන ලද මේවායේ පුරාණ ස්වරූපයට හානි පැමිණ තිබේ. මෙහි ලෙන් වියනෙහි බදාම තට්ටුවක් දක්නට ලැබුණ ද පැරැණි සිතුවම් දක්නට නොලැබේ. වටේ බිත්තිවල ද සිතුවම් කිසිවක් නොමැත. පසුකාලීන අලුත්වැඩියාවල දී මෙම සිතුවම් මැකී යන්නට ඇති බව සිතිය හැකි ය. මෙම දාගැබ මෙන්ම ලෙන් විහාරයේ සැතපෙන බුද්ධ ප්‍රතිමාව ද කිහිප වරක්ම නිදන් හොරු හාරා තිබේ. මෙවැනි බොදු උරුමයන් වනසා නිදන්
සෙවීම මුදලට ලොබ බැඳි දුර්ජනයන්ගේ ක්‍රියාවකි. මෙලෙස ලෙන් තුළ කුඩා දාගැබ් ඉදිකිරීම මහනුවර යුගයේ දී දැකගත හැකිය. හිඳගල වාරණ පිළිකුත්තුව එවන් දාගැබ් දැකගත හැකි විහාර කිහිපයකි. මෙම ලෙනට අඩි 75 ක් පමණ දුරින් දෙවැනි ලෙන පිහිටා තිබේ. ප්‍රතිමා මන්දිරය එහි පිහිටා ඇත. එහි සැතපෙන බුද්ධ ප්‍රතිමාව මහනුවර යුගයේ ලක්ෂණ සහිත ය. මෙහි පිහිටි ප්‍රතිමා සහ සිත්තම්වල
පුරාණ ස්වරූපය ආරක්ෂා වී පවතී. බුදුරුවේ සිවුර මහනුවර යුගයේ ජනපි‍්‍රය ලක්ෂණයක් වූ දියරැලි ආකාරයෙන් යුක්ත ය. එහි සිවුර රන්වන් පැහැති ය. මෙහි හිස හා කොට්ටය අසල නිදන් හොරු විනාශ කළ ලක්ෂණ පවතී. බෙල් අවුරුදු 116 කට පෙර විස්තර කරන සිතුවම් අද වන විට බොහෝ දුරට විනාශ වී ගොසිනි. වියන් සිත්තම් දැකගත හැක්කේ යාන්තමිනි. රහත් රූප ද ඉතිරිව පවතින්නේ කිහිපයක් පමණි. සොබාදහම විසින් ඒවායේ වර්ණ මකා දමා ඇත.මෙම විහාරය ඉදිරිපිට කළුගල් මළුවක් මත පැරැණි බෝධි වෘක්ෂයකි. එහි සිට තවත් අඩි 150 ක් පමණ දුරින් සංඝාවාසය සහිත ලෙනයි. ඒ අවට සරුවට වැඩුණු පුවක් ගසින් පිරි වදුලක් අපට දැකගත හැකි විය. ලෙහෙනුන් කිහිප දෙනෙක් පුවක් ගස් අතර සරමින් සිටියහ. මෙවැනි සුන්දර දැකුම් සහිත පුදබිම්වල දී අප සිත් පහන් වේ. එය විඩාබර සිතට කදිම සැහැල්ලුවක් සැනසුමක් ගෙන දෙන බව අමුතුවෙන් කිව යුතු නොවේ. බුදුන් දවස රහත් හිමිවරු සොබා සුන්දරත්වයෙන් සිත සනසා ගත් ආකාරයත් එය භාවනාවට නිමිත්තක් කර ගත් ආකාරයත් ථෙර ගාථාවල අපූරුවට සඳහන් වේ. එලෙස ම පුරාණයේ මාවෙල ලෙන් විහාරයේ වැඩ සිටි හිමිවරුන් ද මේ සුන්දර වටපිටාවෙන් සිත පහන් කර ගෙන බවුන් වඩන්නට ඇත.

කඩුගන්නාව අම්බලම

කඩුගන්නාව අම්බලම ශ්‍රී ලංකාවේ දැකගත හැකි පැරණි අම්බලම් අතුරින් එකකි. A1 මාර්ගයේ කොළඹ සිට මහනුවර දක්වා ගමන් කිරීමේදී හමුවන
කඩුගන්නාව වැලමිට වංගුවට මීටර කිහිපයක් මෙපිට පාරේ වම්පසින්, මෙම ඉපැරණි කඩුගන්නාව අම්බලම දැක ගත හැකිවේ. ලංකාවේ බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනය යටතේ, 18 වන සියවසේ මුල් යුගයේදී ඉදිකරන්නට ඇතැයි සැළකෙන මෙම අම්බලමට, මේ වන විට වසර 200ක් වත් සම්පූර්ණ වී ඇතැයි පැවසේ. එකල මෙය, වෙළෙන්දන් හා විවිධ සංචාරකයින්ගේ ගමන් වෙහෙස නිවාලන ප්‍රකට තාවකාලික නවාතැන් පොළක් වූ බව සඳහන් වෙයි. වර්ථමානයේදී පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු ඉදිකිරීමක් ලෙස සළකනු ලබන මෙම අම්බලමෙහි වාස්තු නිර්මාණ කලාව, මහනුවර යුගයේ වාස්තු නිර්මාණ කලාවන්ට සමාන බව දැකගත හැකිවේ. ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්ථමේන්තුවේද සහය සහිතව මෑතකදී, ශ්‍රී ලංකා සංචාරක අමාත්‍යාංශය විසින් කඩුගන්නාව අම්බලම ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගන්නා ලදී.

බෝ ඇල්ල

බෝ ඇල්ල පිහිටා ඇත්තේ කෑගල්ල දිස්ත්‍රික් මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේය. මීටර් 3ක් උසැති මෙම බෝ ඇල්ල අරණායක රාස්සාව කන්දෙන් ආරම්භ වන කුඩා බෝ පත්‍ර හැඩැති දිය දහරාවකින් නිර්මාණය වන අතර අහුපිනි ඇල්ලද පෝෂණය කරයි . බෝ ඇල්ලට පෙර ජලය පාෂාණ හරහා ගලා ගොස් එකිනෙකට වෙනස් දිය පහරවල් දෙකක් සාදා විශාල ගල් තටාකයකට ගලා යයි, එහිදී එය මීටර් 2 විවරයක් හරහා පිටවේ.

ඇල්ල පිහිටලා තියෙන්නේ කොළඹ – නුවර පාරෙ ඉඳලා කි.මී. 4 – 5 ක විතර දුරකින්. ඇල්ල කිට්ටුවට ම වාහනයක් යන්න පුළුවන්. ඒක නිසා මේ ඇල්ල නැරඹීමට යන එන එක ඒ තරම්ම අපහසුවක් නෑ. ඉහත දිය ඇල්ලට ළඟා වීමට මාර්ග කිහිපයක් ඇත.

මාර්ගය 1 : කොළඹ  (නුවර පාර) – අන්වාරාම – කෝන්දෙනිය පාර (6km) – කෝන්දෙනිය හන්දිය – ඉලුක්ගොඩ පාර (2km) – දකුණට හැරෙන්න (කි.මී. 1.5)

මාර්ගය 2: මාවනැල්ල – රඹුක්කන මාර්ගයේ මාවනැල්ලේ සිට රන්දිවල හරහා යටිමහන මාර්ගයේ යටිමහන දෙසට ආසන්න වශයෙන් කිලෝමීටර 8 ක් ගමන් කරන්න

මේ දිය ඇල්ල ගැන ලස්සන දිග ඉතිහාස කතා කීපයක් ම තියෙනවා. ගොඩක් දෙනෙක් මේ දිය ඇල්ල බලලා ගියාට මේ ඉතිහාසය ගැන නං වැඩිය හොයල නැතිව ඇති. මේ සරදියල් ගේ ඉසව්ව. උතුවන්කන්ද, මාවනැල්ල, ඉළුක්ගොඩ කියන්න ඉස්සර සරදියෙල් කරක් ගහපු ගම්මාන තමයි. සරදියෙල් ගැන ගොඩක් ප්‍රසිද්ධ කතාවක් තමයි සරදියෙල් ට වෙඩි තිබ්බට වෙඩි වදින්නේ නැති බව. ඒකට හේතුව ඔහු සතුව තිබුනු ඉතාමත් බලගතු තෙල් වර්ගයක්. (හෙනරාජ තෛලය) ඉතින් සුදු ආණ්ඩුවත් ඒ කාලේ සරදියෙල් අල්ලන්න නිතරම මෙහෙයුම් දියත් කරල තියනවා. නමුත් ඒවා සාර්ථක වෙලා නං නෑ. වෙඩි තියල අල්ලගන්නත් බැරි හින්දා ඒව තවත් අසාර්ථක වෙන්න ඇති. කොහොම හරි දවසක් මේ දිය ඇල්ල ඉසව්වෙදි සරදියෙල් පස්සෙ පොලිසියෙන් පන්නගෙන ඇවිල්ලා තියනවා. සරදියෙල් දුවගෙන ගිහිල්ලා මේ බෝ ඇල්ලෙන් එහා පැත්තට පැන්නලු. ඉතින් පස්සෙන් දුවගෙන අපු පොලිස් නිළධාරීන්ට මේ ඇල්ලෙන් එහා පැත්තට පනින්න තරං හැකියාවක් තිබිලා නෑ. ඉතින් සරදියෙල් එහා පැත්තට පැනලා පාඩුවේ යන්න ගිහිං තියනවා.
අද උනත් මේ තැනට ගියොත් බලන්නකෝ එහා පැත්තට පනින්න පුළුවන් ද කියලා.එහෙම බැරිනං දියඇල්ලට පහලින් හෝ ඉහලින් එගොඩ වෙන්න තමයි වෙන්නේ. එහෙම එගොඩට යන්න සෑහෙන කාලයක් මිඩංගු කරන්න සිදුවෙනවා.

බෝ ඇල්ල අවට පරිසරයේ තියෙන්නේ වෙනමම සුන්දරත්වයක්. කුඹුක් ගස් සෙවන යට, ටයිල් පොලවක් වගේ මටසිලුටු ගල් තලාව එක්ක මා ඔයේ සිසිලස ඔබේ ගත -සිත නිවා සනසාවි. එසේම මෙය ප්‍රදේශවාසීන් අතර ජනප්‍රිය නාන සහ විනෝද චාරිකා ස්ථානයකි.

උඩරට දුම්රිය මඟට බිලි වූ දිය ඇලි සුරතලිය: මීයන් ඇල්ල

කොළඹ සිට බදුල්ල දක්වා ඉදිකර ඇති කන්ද උඩරට දුම්රිය මාර්ගය ඉංග්‍රීසි ජාතිකයන් මෙරටට දායාද කරන ලද අපූරු ත්‍යාගයක්. ඉංග්‍රීසීන්ගේ ඉංජිනේරු සමත්කම්වලින් එකක් සේ සැලකිය හැකි කන්ද උඩරට දුම්රිය මාර්ගයේ සංචාරය කිරීම දෙස් විදෙස් සංචාරකයන් අතර
ද ඉතා ජනප්‍රිය යි. මුහුදු මට්ටමේ ඉතා අඩු උසක සිට ශීඝ්‍ර නැග්මක් සහිත ඉහළ ස්ථානයක් කරා ළඟා වන  උඩරට දුම්රිය මාර්ගයේ ගමන් කිරීමේ දී ඉතා සුන්දර ස්ථාන රාශියක් දුම්රියේ සිට ම නැරඹීමේ හැකියාව පවතිනවා. දේශීය සංචාරකයන් අතර මෑත කාලීන ව ජනප්‍රියත්වයට පත්වුණු උඩරට දුම්රිය මාර්ගයේ රඹුක්කන දුම්රිය ස්ථානයට නුදුරින් පිහිටි සංචාරක ස්ථානයක් වන මීයන් ඇල්ල පිළිබඳවයි මේ ලිපිය.

මීයන් ඇල්ල බලනේ කඩවත්       ඇතුළේ
කඩුගන්නාව පිට සේසත කෙටූ        ග‍ලේ
මාවෙල උඩුපිටින් ලගමුව ද පසු     කළේ
මෙ ලකුණුවලට මැදි රට හතර කෝරළේ
                       – පැරණි කඩඉම් කවියක්

නම ඇසූ පමණින් එතරම් දැන හඳුනා ගත් දිය ඇල්ලක් නොවූවත් මීයන් ඇල්ල අතීතයේ දී සත් කෝරළය සහ සතර කෝරළය වෙන් කළ එක් මායිමක් ලෙස සැලකෙනවා. “ඇල්ලක්” නමින් හැදින්වුවත් ලංකාවේ දියඇලි නාමාවලියට එකතු වන්නට වරම් නොලද දිය ඇල්ලක් ලෙසටත්
මීයන් ඇල්ල හැදින්වීමට පුළුවන්. අලගල්ල කඳුවැටියේ සිට පහළට කඩා වැටෙන ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානය ආසන්නයේ පිහිටි මීයන් ඇල්ල මීට වසර 150 පමණ එහා අතීතයේදී සත්‍ය වශයෙන්ම ඉතා සුන්දර දිය ඇල්ලක් ව තිබූ බවට නොරහසක්. මෙම සුන්දර දිය ඇල්ලට උඩරට දුම්රිය මාර්ගය ඉදිකිරීමේ දී තමන්ගේ සුන්දරත්වය අහිමි වුණා. රහස් රැසක් සඟවාගත් 5A බිම්ගෙයට උඩින් සිහින් දිය රැල්ලක් ව මීයන් ඇල්ලක්ව ගලාබසී.

උඩරට දුම්රිය මාර්ගය ඉදිකිරීම
කොළඹ සහ පොල්ගහවෙල අතර දුම්රිය මාර්ගය 1866 නොවැම්බර් මස 1 වැනි දා විවෘත කිරීමෙන්
වසරකට පමණ පසු එනම් 1867 අගෝස්තු 1 වැනි දා,  පොල්ගහවෙල සිට මහනුවර දක්වා දුම්රිය
මාර්ගය විවෘත කිරීම සිදුවෙනවා. කොළඹ සිට මහනුවර දක්වා දුම්රිය මාර්ගයේ  බිම්ගෙවල් 13ක් පිහිටා
ඇති අතර  ඉන් 12ක්  පිහිටා ඇත්තේ රඹුක්කන සහ මහනුවර දුම්රිය ස්ථාන අතර යි. ශීඝ්‍ර නැග්මක් සහිත
දුම්රිය මාර්ගයේ ආරම්භය සිදුවීම නිසා කඳුරට දුම්රිය මාර්ගයට පිවිසුම ලෙස රඹුක්කන දුම්රිය ස්ථානය
හැදින්විය හැකි යි.

උඩරට දුම්රිය මාර්ගයේ ඉදිකළ ඉංග්‍රීසි ජාතිකයන් ම කොළඹ සිට බදුල්ල දක්වා සියලු බිම් ගෙවල්
අංකනය කළා. දුම්රිය මාර්ගයේ අලගල්ල කන්ද නැග්ම ආරම්භ වන ස්ථානයේ පිහිටි යටිවැල්දෙණිය දුම්රිය
ස්ථානය ආසන්නයේ අඩි 721ක දිගකින් යුතු අංක 05 බිම්ගේ පිහිටා තිබෙනවා. ඉහළ කෝට්ටේ දුම්රිය පොළ
පසුකර මාකෙහෙල්වල නැවතුම් ස්ථානය අසල අංක 06 බිම්ගෙය පිහිටා තිබෙනවා. මෙය අඩි 104 දිගින්
යුතු බිම්ගෙයක්. අංක 05 බිම්ගෙය පසුකර අලගල්ල කන්දේ පාදම ඔස්සේ තවත් සැතපුම් 3 3/4 ශීඝ්‍ර
නැග්මක යෙදෙන උඩරට දුම්රියට එහි 59 1/4 සැතපුම් කණුව අද්දරදී ඉහත සඳහන් මීයන් ඇල්ල ගලා
හැලෙන පර්වතය හමුවෙනවා. එම ස්ථානයේ උස මුහුදු මට්ටමින් අඩි දහසක් පමණ වනවා.